සප්තපර්ණී ගල් ගුහාව -
බුදුන්ගේ දේශය දකින්නට යන ගමනේ දී යා යුතු තවත් ඉතා වැදගත් ස්ථානයක් වන්නේ සප්තපර්ණී ගල් ගුහාව යි. මෙහි ඇති විශේෂ වැදගත් කම වන්නේ පළමු ධර්ම සංගායනාව සිදු කළ ස්ථානය වීමයි.
බුදුරජාණන්
වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ගිහි පැවිදි ඇතැමුන් බුද්ධ විනය කඩ කරමින් ක්‍රියා
කරන්නට වූහ. බුදුරදුන් පැනවූ විනය ශික්‌ෂාපද කඩකළ ඔවුහු විනය විරෝධී අදහස් ප්‍රසිද්ධියේම
ප්‍රකාශ කළහ. මේ තුළින් බුදුරදුන්ගේ ධර්මය පිළිබඳ වැරදි අදහස් බොහෝ දෙනාගේ සිත්
තුළට ඇතුළු වන්නට විය. මේ තුළින් අනාගතයේදී සිදුවන්නේ ඉතාමත් ව්‍යසනයක් බව සිතූ
එකළ විසූ උගත් බුද්ධිමත් මහ රහතන් වහන්සේලා බුද්ධ වචනයේ නිර්මලත්වය උදෙසා ධර්ම
සංඝායනාවක් පවත්වා වැරදි මත දුරු කිරීමට තීරණය කළහ.
Entrance of the Sapthaparni Cave - Photo Sri Nimal |
Inside of Sapthaparni Cave - photo by Sri Nimal |
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තෙමසකට පසුව මහා කාශ්‍යප
මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා අජාසත් මහ රජතුමාගේ අනුග්‍රහයෙන් මගධ ජනපදයේ
සප්තපර්ණි ගල් ගුහාව අසල තැනවූ මණ්‌ඩපයේදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්විය. ගල් ගුහාව ඉදිරිපිට තැනූ වේදිකාවක මෙම සංගායනාව පවත්වා ඇති අතර, එම වේදිකාවේ ' වහලය' තනන්නට ගුහාවේ බිත්තිය සිදුරු කර ඇති ආකාරය අද ද දකින්නට පුළුවන. එමෙන්ම ගුහාවට ඇතුළුවන දෙස බැලූ විට වම් පැත්ත අයිනේ ගලු කණු හෝ ලී කණු සිටවන්නට හාරන ලද වලවල් අද ද පැහැදිලිව දක්නට පුළුවන . ( මෙම ස්ථාන අප වෙත පෙන්වා විස්තර කර දුන් වජිර මහතාට ස්තුතියි)
මෙම සංගායනාවට සහභාගි කරවන ලද්දේ රහතන් වහන්සේලා පමණක් බැවින් ද, ඒ වන විට ආනන්ද හිමියන් රහත් ඵලයට පත් වී නොසිටිය නමුත් බුදුන් දෙසූ සූත්‍ර වැඩිමනත් දැන සිටියේ ආනන්ද හිමියන් නිසාවෙන් ද උන් වහන්සේ ට සංගායනාවට පෙර රහත් ඵලයට පත් විය යුතුව තිබුනි. සංගායනාව පැවැත්වූ නිකිණි පෝය දිනයේම අරහත් ඵලයට පත්වූ ආනන්ද තෙරුන් ද මෙම ධර්ම සංගායනාවට සහභාගි වී
බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්ම සංගායනාවට ඉදිරිපත් කර ඇත. මහරහතන්
වහන්සේලා පන්සිය නමක් සහභාගි වූ හෙයින් පංච සතිකා සංගායනාව ලෙස මෙය හැඳින් වේ.
මෙහිදී බුදුරදුන් දෙසූ විනය කරුණු උපාලි තෙරුන් විසින් සංඝ සභාවට ඉදිරිපත් කළ අතර
ඒ අනුව විනය පිටකය ද සංගායනා විය. තෙමසක් පුරා මෙම ප්‍රථම ධර්ම සංගායනාව
පවත්වා ඇත.
Sapthaparni Cave - Photo Sri Nimal |
පිප්ඵලි ගුහාව
සප්තපර්ණි ගුහාව අසලින්ම ඇති මෙම ගල් ගුහාව බුදුරජාණන් වහන්සේ , මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හා දහස් ගණන් මහරහතන් වහන්සේලා මෙහි වැඩ වාසය කළ ස්ථානයක් ලෙස සැළකේ. එක් අවස්ථාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අසනීපව පිප්ඵලි ගුහාවේ වැඩ වාසය කරන විට බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කර සප්ත බොජ්ජඣග සූත්‍රය දේශනා කළ සැණින් උන්වහන්සේ සුවපත් වූහ. මේ වන විට එහි කොටසක් කැඩී වැටී ඇති අතර අව් වැසි ආදියෙන් හානි පැමිණෙමින් තිබේ.
වාල සංඝාඨ යන්ත්‍රය හා ස්ථුපය
බුද්ධ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේ ගේ ආදාහනයෙන් ඉතිරිවූ සර්වඥ ධාතුන් වහන්සේලා කොටස් අටකට වෙන් කරමින් රාජධානි අටකට වෙන් කර දෙන ලදී. එහිදී මගධ රාජ්‍යයට ලැබුණු ධාතුන් වහන්සේලා නිදන් කර චෛත්‍යයක් ඉදි කරවන්නට පෙර එම ධාතූන් වහන්සේලා ආරක්ෂා කොට තැන්පත් කර තැබූ ස්ථානයේ ඉතා සූක්ෂම ආරක්ෂක උපකරණයක් සවිකර තිබූ බව පැවසේ. එහි ඉතා සියුම් කැපෙන තල හා දැති රෝද වලින් සමන්විත ආරක්ෂිත උගුලක් තිබූ බවත් නිසි ආරක්ෂක ක්‍රම උපයෝගී කර නොගෙන කිසිවෙකු එම ධාතූන් වහන්සේලා ගන්නට උත්සාහ කළ හොත් එම පුද්ගලයා ස්වයංක්‍රීයව කැපී මරණයට පත්වන ආකාරකට එම යන්ත්‍රය ක්‍රියාත්මක වූ බවත් කියැවේ.
බිම්බිසාර සිර ගෙය
දේවදත්ත ගේ මුසා බස් පිළිගෙන අජාසත්ත කුමරු විසින් තම පිය රජු වන බිම්බිසාර රජතුමා ව දස වද දෙමින් සිර කොට තැබූ සිර ගෙය පිහිටි ස්ථානය යැයි සැළකෙන ස්ථානයක් බිහාර් ප්‍රාන්ත රජය විසින් හදුනාගෙන සළකුණු කර ඇත. එහි දුක් විදිමින් සිටි බිම්බිසාර රජු එකල බුදුන් වහන්සේ වැඩ සිටි ගිජ්ජකූට පර්වතය දෙස බලමින් වේදනාව තුනී කර ගෙන බුද්ධ භක්තියෙන් සිටි බව කියැවේ. සැබැවින්ම මෙම බිම්බිසාර සිර ගෙය පිහිටි ස්ථානයට ඉතා අපූරුවට ගිජ්ජකූට පර්වතය පෙනීමෙන් මෙම කතාව තරමක් සනාථ වෙයි.
No comments:
Post a Comment